Breaking News

Latest

ගෙදර ලයිට් බිලට තිත තියන බැටරි සහිත සූර්ය පද්ධති

හිරුඑළිය වැටෙන ශීඝ්‍රතාව දිනය පුරා වෙනස්‌ වන නිසා සූර්ය පැනලයෙන් නිපදවන විදුලි බලය ඒකාකාර නො වේ. එහෙත් අපේ ගෙදරදොර විදුලි උපකරණ බොහොමයක්‌ සඳහා ඒකාකාර නො වන විදුලි බල සැපයුමක්‌ සුදුසු නැත. ජාලගත පද්ධතියක දී මේ වෙනස්‌කම් ඉන්වර්ටරය මගින් පාලනය වේ. එනම් ඔබට අවශ්‍ය ප්‍රමාණයට විදුලිය නිපදවන්නේ නැති අවස්‌ථාවල දී ඉන්වර්ටරය මගින් ඉතිරි කොටස ජාලයෙන් ලබාගනී.

ඒකීය පද්ධති හෝ ජාලගත එමෙන් ම ශක්‌තිය ගබඩා කරන පද්ධතිවල දී බැටරිවල ශක්‌තිය ගබඩා කර තබයි. එමගින් විදුලි උපකරණවලට ඒකාකාර විදුලි සැපයුමක්‌ ලබා දීම හා හිරු එළිය නොමැති විට උපකරණ භාවිත කිරීමට අවශ්‍ය ශක්‌තිය සැපයීම සිදු කරයි.

ඒකීය පද්ධතිවල බැටරි තිබිය යුතු නිසා, අඩු වෝල්ටීයතාවකින් පද්ධතිය සැකසීම වඩාත් ම සුදුසු විධියයි. බැටරි බැංකුවක්‌ හොඳින් වැඩ කරන්නේ අඩු වෝල්ටීය ශක්‌තිය ගබඩා කරන විට දී ය. එවැනි පද්ධති 12 V - 48 V අතර වෝල්ටීයතා අගයන්හි පවතී. ඒකීය පද්ධති නිර්මාණය කිරීම සරල, අවශ්‍ය පරිදි වෙනස්‌ කළ හැකි, ආරක්‌ෂිත ක්‍රමයක්‌ වීම අඩු වෝල්ටීයතා සැකැස්‌ම සහිත වීමට අදාළ අනෙක්‌ හේතුවයි.

ජාලය සමග සම්බන්ධ බැටරි ගබඩා රහිත පද්ධතියක දී නම් අධිවෝල්ටීයතා පද්ධති හොඳ ම විසඳුම වේ. එහෙත් ජාලයත් බැටරි ගබඩාවත් යන දෙක ම සහිත විදුලිබල පද්ධතියක හයිබ්‍රිඩ් සැකැස්‌ම පවතී. එනම් අධි වොල්ටීයතාවෙන් යුතු විදුලි ජනනයක්‌ සූර්ය පද්ධතියෙන් ජාලයට දෙන අතරතුර අඩු හෝ මධ්‍ය වෝල්ටීය බැටරි පද්ධතියක්‌ සහිත ව නිර්මාණය කරයි.

බැටරි භාවිත කරන සූර්ය PV පද්ධතියට 'බැටරි පාලකයක්‌' අවශ්‍ය වේ. බැටරි පාලකය මගින් බැටරිය ඇතුළට ලබාගන්නා හා එළියට යන ධාරාව පාලනය වේ.

ඔබේ සූර්ය ඡඪ පද්ධතියේ බැටරි ඕනෑවට වඩා ආරෝපණය (චාර්ඡ්) කළොත් බැටරිවලට හානි සිදු වී විනාශ විය හැකි ය. අඩංගු සම්පූර්ණ ආරෝපණ ප්‍රමාණය ම අවසන් වුව හොත් (discharge) මෙමගින් ද බැටරිවලට හානි සිදු වී විනාශ විය හැකි ය. එබඳු හානි වැළැක්‌වීමට බැටරි පාලකය උදව් වේ. එනිසා බැටරිවල ජීව කාලය රැකගැනීමට බැටරි පාලකයක්‌ අවශ්‍ය වේ.

පහත රූප සටහන මගින් සරල ඒකීය පද්ධතියක්‌ පෙන්වයි. (ඊතල මගින් ධාරාවේ දිශාව දැක්‌වේ).

මෙවැනි ආකාරයෙන් සැකසූ පද්ධතියක්‌ අඩු වෝල්ටීය DC උපකරණ වන විදුලි බුබුළු, ලැප්ටොප් පරිගණක ආදිය සඳහා වෙනමත්, AC සැපයුමක්‌ අවශ්‍ය රූපවාහිනිය ආදියට අවශ්‍ය වන විදුලිය වෙනමත් සපයයි. DC විදුලිය මගින් පණ ගැන්විය හැකි උපකරණ DC විදුලියෙන් ම ක්‍රියාත්මක කිරීමෙන් වැඩි කාර්යක්‌ෂමතාවක්‌ ලබාගත හැකි නිසා මෙලෙස නිර්මාණය කිරීම වාසිදායක ය.

මේ සැකසුමේ ඇති සූර්ය පැනල මගින් විදුලිය නිපදවේ. එම විදුලිය ලබාගන්නේ බැටරි පාලකයයි. බැටරි පාලකය අවශ්‍ය ප්‍රමාණයට ධාරාව පාලනය කරමින් බැටරි බැංකුව ආරෝපණය (Charge) කරයි. එමෙන් ම DC විදුලිය අවශ්‍ය වන උපකරණ සඳහා අවශ්‍ය විදුලිය යොමු කරන්නේ ද මේ බැටරි පාලකයයි. ඒවාට (දවසේ වෙලාව අනුව) සූර්ය පැනල පද්ධතිය මගින් හෝ බැටරි පද්ධතිය මගින් හෝ අවශ්‍ය විදුලිය ලබා දෙයි.

මීළග සාමාජිකයා ඉන්වර්ටරයයි. ඉන්වර්ටරය ශක්‌තිය ලබාගන්නේ බැටරි බැංකුවෙනි. එමගින් ඇතැම් උපකරණ සඳහා අවශ්‍ය අධි වෝල්ටීය AC ධාරාව ලබා දෙයි.

විවිධ බැටරි තාක්‍ෂණ

බැටරි තාක්‍ෂණයන් බොහෝ ඇති මුත් සූර්ය පද්ධති සඳහා ජනප්‍රිය ම බැටරි ලෙස ඊයම් අම්ල බැටරි හා ලිතියම් අයන් බැටරි දැක්‌විය හැකි ය. එයින් ද ඊයම් අම්ල බැටරි වඩාත් පැරැණි හා වඩාත් ම ප්‍රචලිත තාක්‍ෂණයයි. ලිතියම් අයන් බැටරි වඩාත් මිල ය. දිගු ජීව කාලය හා බලශක්‌ති ගබඩා කිරීමේ දී වඩාත් කාර්යක්‍ෂම වීම අතින් ඊයම් අම්ල බැටරිවලට වඩා ලිතියම් අයන් බැටරි ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත් ඒවායේ වාෂ්පශීලී බව වැඩි වීම නිසා විශේෂිත උපක්‍රම යෙදිය යුතු අතර අධිකව රත් වුව හොත් ගිනි අනතුරු සිදු වීමට අවකාශ පවතී. එබැවින් සූර්ය පාලක, බැටරි හා ඉන්වර්ටර් සහිත අංග සම්පූර්ණ පද්ධතියක්‌ ලෙස ලිතියම් අයන් බැටරි මිල දී ගත හොත් හැරෙන්නට විවිධාකාර අත්හදාබැලීම් ඒවා සමඟ නො කළ යුතු ය. එහෙත් ඔබට ඊයම් අම්ල බැටරි පද්ධතියක්‌ සකසාගැනීම අසීරු නැත.

වඩාත් මෑතක දී ටෙස්‌ලා Powerwall ආදි ලිතියම් බැටරි පද්ධති වෙළෙඳපොළට පැමිණ ඇත. මේ පද්ධති වෝල්ට්‌ 300-500 ආදී ඉහළ වෝල්ටීයතාවන් තුළ ක්‍රියා කරයි. ජාලගත පද්ධති සඳහා නිර්මිත මෙය තාක්‌ෂිණික වශයෙන් සංකීර්ණ පද්ධතියකි. ලිතියම් සහිත පද්ධති නිර්මාණය කිරීම දුෂ්කර හා මිල අධික වේ. එහෙත් ඉදිරියේ දී මිල ගණන් අඩු වෙතැයි අපේක්‌ෂා කළ හැකි ය.

බැටරි තාක්‌ෂණය විවිධාකාර වන නමුත් බහුලව යෙදෙන්නේ 'ඩීප් සයිකල්' ඊයම් අම්ල බැටරිවල ය. ඒවා කාර් බැටරියට පෙනුමෙන් සමාන ය. එහෙත් ඇතුළත වෙනස්‌ ය. මෙලෙස ඇතුළත වෙනස්‌ ව නිර්මාණය කර ඇත්තේ නැවත නැවත සම්පූර්ණයෙන් ම ආරෝපණ හිස්‌ වීම සිදු වී යළි ආරෝපණය වීම ප්‍රශ්නයක්‌ නො වන්නට ය.

ඊයම් අම්ල බැටරි

ඊයම් අම්ල බැටරි බොහෝ විට 2 V / 6 Vහෝ 12 V ලෙස මිල දී ගැනීමට ඇත. බැටරි ශ්‍රේණිගත ව සම්බන්ධ කිරීමෙන් වෝල්ටීයතාව වැඩි කළ හැකි අතර සමාන්තරව සවි කිරීමෙන් වෝල්ටීයතාව වෙනස්‌ නො කර ධාරිතාව වැඩි කළ හැකි ය. බැටරියක ධාරිතාව මනින්නේ ඇම්පියර් පැයවලිනි. ඇම්පියර් පැය 100ක බැටරියකට සිද්ධාන්තවලට අනුව ඇම්පියර් එකක ධාරාවක්‌ අවශ්‍ය උපකරණයකට පැය 100කට අවශ්‍ය ශක්‌තිය දිය හැකි ය.

මෙය සෛද්ධාන්තික අගයක්‌ බව නැවත අවධාරණය කරගන්න. පැය පහකින් මේ ශක්‌තිය ලබාගන්නේ නම් හා පැය විස්‌සකින් මේ ශක්‌තිය ලබාගන්නේ නම් ලබාගත හැකි ශක්‌තිය සත්‍ය තත්ත්ව යටතේ වෙනස්‌ ය. කුඩා කාලයක දී එනම් විශාල ධාරාවක්‌ ලබාගැනීමේ දී ශක්‌තිය අපතේ යයි.

ඊයම් අම්ල බැටරියක්‌ කිසි විටක සම්පූර්ණයෙන් විසර්ජනය (discharge) නො විය යුතු ය. අවම වශයෙන් 20%‍රක ප්‍රමාණයක ආරෝපණ ප්‍රමාණයක්‌ (state of charge – soc) හැම විට ම පවත්වාගෙන බැටරිය හානි වීම වැළැක්‌විය යුතු ය.

බැටරි පද්ධතිය ඉතා ම හොඳින් තිබීමට නම් 50%‍රකට වඩා බැටරියේ ආරෝපිත තත්ත්වයක්‌ පවත්වාගැනීම වඩාත් සුදුසු ය.

ඊයම් අම්ල බැටරි වර්ග තුනක්‌ ඇත.

1. තෙත් වර්ගය

බොහෝ විට දීර්ඝ කාලීන භාවිතයත් අවම මිලත් යන සාධක දෙකෙන් ම ඉදිරියෙන් ඇති බැටරියයි. මේවායේ ආයු කාලය බොහෝ විට වසර 15 - 20ක්‌ පමණ වේ.

2. AGM වර්ගය

AGM බැටරි වර්ගය තෙත් බැටරියට වඩා මිලෙන් අඩු හා නඩත්තු කිරීම් අඩු බැටරි වර්ගයකි. එහෙත් මේවායේ ආයු කාලය අඩු වන අතර වසර තුනක්‌ / හතරක්‌ යන විට සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතු වේ.

3. ජෙල් බැටරිය

ජෙල් බැටරිය නඩත්තුව අනවශ්‍ය බැටරියකි. මේවායෙන් හයිඩ්‍රජන් වායුව පිට නො වන අතර සම්පූර්ණයෙන් මුද්‍රd තැබූ බැටරි වර්ගයකි. මුල් කාලීන ජෙල් බැටරි වසරක්‌ හෝ දෙකක්‌ ගත වන විට මාරු කිරීමට සිදු වූ නමුත් වර්තමාන බැටරි නිෂ්පාදකයන් විසින් මේවා වසර 10 - 15 දක්‌වා පැවතිය හැකි ලෙස නිර්මාණය කරනු ලැබේ. මේවායේ මිල ක්‍රමයෙන් පහළ බසිනු දක්‌නට ලැබේ. කුඩා පරිමාණ පද්ධති සඳහා නඩත්තු රහිත මේ ජෙල් බැටරි භාවිත කළ හැකි ය.

බැටරි බැංකු

සූර්ය පැනල එකට එකතු කළාක්‌ මෙන් බැටරි එකට එකතු කර බැටරි පද්ධති සෑදිය හැකි ය. ඒවා 'බැටරි බැංකු' යනුවෙන් හඳුන්වයි.

බැටරි ශේ්‍රණිගත ව සවි කළොත්, බැටරි බැංකුවේ සඵල වෝල්ටීයතාව හා ධාරිතාව ලබාගත යුත්තේ අගයන් එකතු කරමිනි (සූර්ය පැනලවල දී මෙනි). බැටරි සමාන්තරගත ව සවි කළොත් සඵල ධාරිතාව සඳහා අගයන් එකතු කළ යුතු අතර එහි සඵල වෝල්ටීයතාව එක බැටරියක වෝල්ටීයතා අගයෙන් දැක්‌වේ.

බලශක්‌ති ගබඩාකරණය සඳහා බැටරි භාවිතයේ දී වෙනස්‌ වර්ගවල හා වෙනස්‌ ධාරිතාවන් ගෙන් යුත් බැටරි ශ්‍රේණිගත ව හෝ සමාන්තරගත ව හෝ සවි කිරීමෙන් වළකින්න. එලෙස කිරීමෙන් ඇතැම් බැටරි සම්පූර්ණයෙන් ම ආරෝපිත වීම සිදු නො වනු ඇති අතර ඇතැම් බැටරි ප්‍රශස්‌ථ මට්‌ටමට වඩා විසර්ජනය වීමට ඉඩ ඇත. එනිසා එලෙස විවිධ බැටරි එකට සම්බන්ධ කිරීමෙන් සම්පූර්ණ බැටරි පද්ධතියේ ආයු කාලය අඩු වීම සිදු වේ. අලුත් බැටරි හා පැරැණි බැටරි එකට එකතු කිරීමෙන් ද සම්පූර්ණ පද්ධතියට එලෙසින් ම හානි සිදු වේ.

No comments