Breaking News

Latest

නුවර මහ රෝහලේ දෙවැනි හදවත් සැත්කමත් සාර්ථකයි

මහනුවර මහ රෝහලේදී පෙරේදා (26දා) රාත්‍රි සාර්ථක ලෙස දෙවැනි හදවත් සැත්කමද සිදු කළේය. මෙම සැත්කමට පැය හතක් ගතවී තිබේ. මෙම සැත්කම අවසන් වන විට ඊයේ අලුයම වී තිබිණි.
මෙවර සැත්කම සිදුකරනු ලැබුවේ 19 හැවිරිදි සචිනි සෙව්වන්දි නම් තරුණියකටය. ඇයගේ හදවතේ ක්‍රියාකාරිත්වය සියයට දහය දක්වා අඩුවී තිබුණු අතර ඇයට හදවතක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි. ඒ අනුව මීට පෙර ඇයට හදවතක් බද්ධ කිරීමට සූදානම් වුවත් වෛද්‍ය උපකරණවල ඇති අඩුපාඩුවක් නිසා එය තාවකාලිකව නතර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළේය.
රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම එම අඩුපාඩු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. එම වෛද්‍ය උපකරණ දින දෙකක් ඇතුළත රෝහලට ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කිරීමෙන් පසු වෛද්‍යවරුන් මෙම සැත්කම සාර්ථකව සිදුකර තිබේ.
මෙම සැත්කම සඳහා හදවත ලබාගෙන ඇත්තේ තලාතුඔය පුලියද්ද ප්‍රදේශයේදී යතුරුපැදි අනතුරකින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළය අකර්මණ්‍ය වූ තරුණයකුගෙනි. ඔහුගේ හෘදය ලබාදීම සඳහා ඥාතීන් කැමැත්ත පළකර තිබිණි. ඒ අනුව අනිල් අබේවික්‍රම මහතා ඇතුළු වෛද්‍යවරුන් විසි දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සැත්කම සිදුකළහ.
මේ පිළිබඳව අදහස් දැක්වූ මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා කියා සිටියේ මහනුවර රෝහලේදී සිදුකළ දෙවැනි හෘද සැත්කම මෙය බවයි. හදවත් සැත්කම සිදුකළ රෝගියා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් යටතේ ඉතා සුපරික්ෂාකාරීව රෝගියා රැක බලා ගැනීම් කටයුතු සිදුකරන බවද කීය.
මීට පෙර මෙම සැත්කම සිදුකළ නොහැකි වූයේ වෛද්‍ය උපකරණවල අඩුපාඩු තිබූ නිසා බවයි. පසුගියදා මාධ්‍ය මඟින් කුමන විවේචන ඉදිරිපත් කළත් වෛද්‍යවරුන් මේ හදවත් බද්ධ කිරීම සාර්ථකව සිදුකළ බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මීට පෙර මෙම සැත්කම සිදුකිරීමට යෑමේදී මාධ්‍ය මඟින් විවිධ මත සමාජ ගත කළ බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. විවිධ කණ්ඩායම් දැනුමක් නැතිව සිදුකළ මතවාදයන් නිසා වෛද්‍යවරුන්ගේ සිත් රිදීමක් සිදුවුණු බවද ඔහු පැවැසීය. මෙවන් සංකීර්ණ සැත්කමක් සිදුකරන විට ඒ සඳහා අවශ්‍ය පරිසරය සම්පූර්ණ කළ යුතු බවද හෙතෙම පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව මැදහත් වී කටයුතු කළ අතර අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී ඉදිරියේදී අවශ්‍ය මානව සම්පත් සහ වෛද්‍ය උපකරණ ලබාදීමටද එතුමා පියවර ගන්නා බව දැනුම් දුන් බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පසුගියදා මාධ්‍ය මඟින් මේ පිළිබඳව විවිධ මත පළකළ පසු වෛද්‍යවරුන්ට ඇතිවූ සිත්තැවුල් නැතිකර වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ධෛර්යවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත් බවද මහ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සැත්කම පිළිබඳ අදහස් දැක්වූ සචිනිගේ පියා වන මහේෂ් කුමාර මහතා,
"26 වැනිදා රෑ 11.30ට පමණ දියණිය සැත්කමට ගෙන ගියා. අලුයම 5 පමණ වන තුරු සැත්කම කළා. සැත්කමින් අනතුරුව දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා."

No comments