Breaking News

Latest

ලොකු ලොක්කන්ට රහ වැටුණු පොත්


“ඔබ පුෂ්කින්ගේ ගද්‍ය සාහිත්‍යය කියැවූයේ බොහෝ කලකට පෙරද? අප අතර ඇති මිත්‍රත්වයේ නාමයෙන් මුලසිට අග දක්වා “බේල්කින්ගේ කතා” නැවත කියවන්න. හැම ලේඛකයකු විසින්ම එම කෘතිය කියවා අධ්‍යයනය කළ යුතුයි. මා මෑතකදී එය කියවා අධ්‍යයනය කළා. ඉන් ඇතිවූ ආනන්දජනක ප්‍රීතිය කියා නිමකළ නොහැක.” මේ ලියන්නේද ලේඛකයෙකි. ඔහු රුසියානු සාහිත්‍යයේ මහා ගත්කරු ලෙස විරුදාවලි ලැබූ ලියෝ තෝල්ස්තෝයි ය. තෝල්ස්තෝයි පමණක් නොව ගෝර්කිද නිතර කියවන්නට ගත්තේ පුෂ්කින්ගේ ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය පොතපතය. අපේ කාලයේ බොහෝ දෙනා කියවන්නට මෙන්ම ලියන්නටද පන්නරය ලැබුවේ ගෝර්කිගේ අම්මා, තෝල්ස්තෝයිගේ යුද්ධය හා සාමය ඇතුළු පොතපත පරිශීලනය තුළිනි.
ලෝකයේ විශිෂ්ටත්වයට පත් බොහෝ පුද්ගලයන් කැමැත්තෙන් කියැවූ පොත් පසුව ඔවුන්ගේ ජීවිත සහමුලින්ම වෙනස්කර දමන්නට සමත්වූ බව නොරහසකි. මහත්මා ගාන්ධි ඉන්දියාවේ ආත්මීය සහ සංස්කෘතික පෙරළියක් සිදුකළ විශිෂ්ටයෙකි. වරෙක ගාන්ධි තමන්ගේ සිත්ගත් පොත් ගැන කතා කළේය. ඔහු වැඩියෙන්ම භාවිත කළ සහ ජීවන දර්ශනය වෙනස් කිරීමට හේතු වූ ග්‍රන්ථය ලෙස හඳුන්වා දී ඇත්තේ හෙලේනා බ්ලැවැට්ස්කි ආර්යාවගේ Secrets of the Ancient wisdom Tradition ග්‍රන්ථයයි. ඒ අතරට ගාන්ධිගේ කැමතිම පොත් ගොන්නට චාල්ස් ඩිකන්ස්ගේ දෙනුවර අන්දරය, ප්ලේටෝගේ සොක්‍රටිස්ගේ මරණය, තොල්ස්තෝයිගේ දේවරාජ්‍යය ඔබ තුළය මෙන්ම ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවර්ගේ සුවිසැරිය ද අයත් වේ.
සෝවියට් රුසියාවේ ඒකාධිපති පාලකයා බවට පත්වූ ස්ටාලින්ද හොඳ කියවන්නෙකි. දිනකට ඔහු පිටු 300ක්වත් කියැවූ බව වාර්තාගතය. ඔහුගේ ප්‍රියතම ග්‍රන්ථය වූයේ එමිල්සෝලාගේ The Ladies Paradise ය. ඒ අතර දොස්තොව්ස්කිගේ කර්මසෝව් සහෝදරයෝ මෙන්ම මැකියාවේලිගේ කුමාරයාද ඇතුළත්ය. කවුරුත් නොදත් රහස වන්නේ මේ අදේවවාදී කොමියුනිස්ට් නායකයාගේ ප්‍රියතම ග්‍රන්ථ අතරට බයිබලයද අයත්ව තිබීමය.
කියුබාවේ විප්ලවවාදී නායක පිදෙල් ක්‍රස්තෝද පොත් ගුල්ලෙකි. ඔහුගේ කැමතිම පොත අර්නස්ට් හෙමිංවේගේ ඝණ්ඨා නාදේ කා වෙනුවෙන්දෝ ග්‍රන්ථයයි. මහල්ලා සහ මුහුද අනෙක් සිත්ගත් ග්‍රන්ථයයි. සර්වන්ටේස්ගේ දොන්ක්වික්සෝම් හෙවත් විලම්බීත හාමුද ඒ අතර වෙයි. අර්නස්ට් හෙමිංවේගේ මහල්ලා සහ මුහුද ප්‍රියකරන තවත් ජනනායකයකු සිටියි. ඔහු බැරක් ඔබාමාය. ඔබාමා කැමති පොත් අතරට ග්‍රැහැම් ග්‍රීන්ගේ, The power and the Glory ද අයත්ය. ඔහු වඩාත්ම කැමති ග්‍රන්ථය ලෙස හඳුන්වා දී ඇත්තේ 1993 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ටෝනි මොරිසන්ගේ The Song of Solomon ග්‍රන්ථයයි.
අපේ කාලයේ ලෝකයේ ප්‍රබලම පුද්ගලයා මෙන්ම ප්‍රකෝටිපතියා බවට පත්ව සිටි ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ සිත්ගත් පොත් අතර හර්මන් ටෙල්විල්ගේ ටොර්බිඩික් මුල්තැන ගනියි. ජෝර්ජ් ඕවෙල්ගේ 1984 ඔහුගේ තවත් සිත්ගත් ග්‍රන්ථයකි. මේ කාලයේ ලෝකයේ වැඩිම කතාබහට ලක්ව සිටින බිල් ගේට්ස්ගේ ප්‍රියතම ග්‍රන්ථය 1963 දී පලවූ අල්ෆ්‍රඩ් සෝලාන්ගේ My years with General Motors ය. 
අර්නස්ට් හෙමිංවේ අලුත්ම සාහිත්‍ය ධාරාවකට මඟ පෙන්වූ ලේඛකයෙකි. ඔහුගේ ප්‍රියතම ග්‍රන්ථය ලියෝ තොල්ස්තෝයිගේ යුද්ධය සහ සාමය ග්‍රන්ථයයි. අනෙක් පොත ඇනා කැරනිනාය. කර්මසෝව් සහෝදරයෝ මෙන්ම මාර්ක්ට්වේන්ගේ හකල්බරිෆින් කතාවද ඔහු නිතර කියැවූයේය.
ලෝකයේ නාහෙට නාහන නායකයකු ලෙස ප්‍රකට රුසියානු ලොක්කා ව්ලැද්මීර් පුටින්ගේ ප්‍රියතම ලේඛකයා ඕමාර් ඛයියාම්ය. The wine of wisdom වැඩියෙන්ම කියැවීමට කැමති ග්‍රන්ථයයි. ඩුමාගේ Three Musketeers, ඇනා කැරනිනා, කර්මසෝව් සහෝදරයෝ ඔහුගේද ප්‍රියතම ග්‍රන්ථයන්ය.
මනෝවිද්‍යාවේ පියා ලෙස සම්මත සිග්මන් ප්‍රොයිඩ්ගේ ප්‍රියතම ග්‍රන්ථ අතරට ගැනෙන්නේ ජෝන් මිල්ටන්ගේ Paradise lost ග්‍රන්ථයයි. ඒ සමඟ රුසියාවේ ක්විලින්ගේ Jangle bark ඩිකන්ස්ගේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් තවත් ඔහු කැමතිම ග්‍රන්ථයකි. ඇල්බර්ට් අයින්ස්ටයින් කියවන්නට කැමැතිම පොත විද්‍යාවට හෝ ගණිතයට කිසිසේත්ම අදාළ නොවන සර්වන්ටේස්ගේ උපහාසාත්මක රචනයක් වූ විලම්බීත හාමු ය. ඔහුත් බ්ලැවැට්ස්කිගේ Ancient wisdom tradition මෙන්ම කර්මසෝව් සහෝදරයන්ටද ප්‍රිය කළ කෙනෙකි.
අති උත්තම ප්‍රැන්සිස් පාප්තුමන්ද දොස්තොව්ස්කිගේ කර්මසෝව් සහෝදරයන්ට සිත්බැඳි තැනැත්තෙකි. රොබර්ට් බෙන්සන් විසින් 1903 දී රචනා කළ Lord of the world එතුමන්ගේ සිත්ගත්ම ග්‍රන්ථයයි. නෙල්සන් මැන්ඩෙලා ෂේක්ස්පියර්ගේ සම්පූර්ණ එකතුව මෙන්ම සන්ත්සු සෙනවියාගේ යුද සටන් කලාව මෙන්ම යුද්ධය හා සාමයටද එකසේ කැමති වූ බව ප්‍රකටය.

No comments