Breaking News

Latest

දකුණු කොරියාව: ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන් වෙත ඉල්ලීමක්




නීති විරෝධීව දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව 2017 වසරේ ජුලි 10 වෙනිදා සිට ඔක්තෝබර් 10 වෙනිදා දක්වා මාස 03 ක පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම පොදු සමා කාලය තුළ නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ශ්‍රමිකයන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය පවසන පරිදි දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 26,000 ට ආසන්නය.
2016 වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලාංකිකයන් 3,000 ට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින බව වාර්තා වී ඇතැයි එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට රැකියා කෝටාව ලබා දීමේ දී නීති විරෝධීව රැඳී සිටීම පිළිබඳ කොරියානු රජය දැඩි සැලකිල්ලක් දක්වන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා සහ සුබසාධන පිළිබඳ උපදේශක ජගත් බටුගෙදර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය හා සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු දැනගත හැකි බව කී ඔහු ඒ සඳහා තානාපති කාර්යාලය විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව සඳහන් කළේය.
තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි දුරකථන අංකය එහි නිල වෙබ් අඩවියේ සහ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

ඥාතීන් වෙත ඉල්ලීමක්

දකුණු කොරියානු රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් යළි දිවයිනට පැමිණෙන ලෙස විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ එරට නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නීය.
සිය පවුලේ සාමාජිකයන් හෝ සමීපතමයන් දකුණු කොරියාවේ නීති විරෝධී ලෙස රැඳී සිටින්නේ නම් පොදු සමා කාලය පිළිබඳ දන්වා ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ඇය ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටින්නීය.
මුලාශය BBC Sinhala

No comments